Showing posts with label Theory. Show all posts
Showing posts with label Theory. Show all posts

Tuesday, March 26, 2024

අවකාශීය දත්ත පරිගණක ගත කරන ආකාරය (Capturing spatial Data)

 අවකාශීය දත්ත පරිගණක ගත කරන ආකාරය (Capturing spatial Data)




සිතියමක් තුළ අඩංගු රුපමිතීන් ඒ ආශ්‍රිත අනෙකුත් තොරතුරු පරිගණක ගත කිරීම මෙයින් අදහස් කෙරේ. මෙය සිතියම් අංකනය(Digitizing) කිරීම ලෙස හැඳින්වේ. මෙම රූප මිතීන් ලක්ෂයක්, රේඛාවක් හෝ බහුඅස්‍රයක් විය හැකිය. භූමියේ අඩංගු සෑම රූප මිතියකම X හා Y ඛණ්ඩාංක ගත කිරීමේ ක්‍රියාවලිය අංකනය(Digitizing) කිරීම යනුවෙන් අදහස් කෙරේ. අවකාශීය දත්ත අංකනය කළ හැකි ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී.

1. වෙනත් ආයතන හා පුද්ගලයන් විසින් අංකනය කොට ඇති දත්ත ලබා ගැනීම.

වෙනත් ආයතන මගින් රැස්කර ඇති දත්ත නැතහොත් ද්විතීයික මූලාශ්‍ර මගින් ලබා ගන්නා දත්ත තමාගේ තොරතුරු පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීම මෙයින් අදහස් කෙරේ. මෙම ක්‍රමය මගින් කාලය ශ්‍රමය හා සම්පත් නාස්තිය අවම කර ගැනීමට හැකිවනවා මෙන්ම එකම දෙය නැවත නැවත විවිධ ආයතන මගින් සිදුකිරීම වළකා ගැනීමට හැකි වේ. නිදසුන් වශයෙන් ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව විසින් 1: 50,000 (Topographic sheets) භූ ලක්ෂණ සිතියම් වැඩි ප්‍රතිශතයක් මේ වන විට අංකනය කොට තිබේ. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතුව කොළඹ නගරය ආශ්‍රිතව අංකනය කරන ලද විශාල දත්ත ප්‍රමාණයක් පවතී. ශ්‍රී ලංකාවට අදාළ GIS දත්ත සඳහා ප්‍රධානතම දත්ත මූලය වශයෙන් සැලකීමට හැකි ආයතනය වන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි.

2. X හාY ඛණ්ඩාංක ස්වයංක්‍රීය පරිවර්ථනයකට ලක් කිරීම.

ද්විතීක දත්ත මූලාශ්‍ර මගින් ලබාගත හැකි සහ X හාY ඛණ්ඩාංක ලෙස දත්ත පද්ධතියක් සිතියම් තලයක් බවට පත්කර ගැනීම මෙයින් අදහස් කෙරේ. ශ්‍රී ලංකාවෙහි ජනාවාස වල පිහිටීම දක්වන ඛණ්ඩාංක වටිනාකම් සහිත අන්තර්ජාල වෙබ් පිටු රාශියක් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාවාස වල පිහිටීම දක්වන සිතියමක් සකස් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය නම් යම් යම් ආයතන හා පුද්ගලයන් විසින් අන්තර්ජාලයට ඇතුළත් කොට ඇති ජනාවාස වලට අදාළ ඛණ්ඩාංක වටිනාකම් ලබා ගෙන ඒවා සිතියම් තලයක් බවට පත්කර ගැනීමට පුළුවන.

3. සුපරික්සීම (Scanning) හා ස්වයංක්‍රීය දත්ත ග්‍රහණය. (Automatic Conversion)

වර්තමානයෙහි ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම ක්‍රමය වඩා මිල අධික වුවද පහසු ක්‍රමයක් වේ. සුපරික්සීමට ලක් කරන ලද සිතියමක් තුළ අඩංගු රූපමිතීන් ස්වයංක්‍රීයව  අංකනය කිරීම සඳහා පරිගණක මෘදුකාංග රාශියක් නිර්මාණය කොට ඇත. (R2V- Raster to vector Conversion) සුපරික්සීමට ලක් කරන ලද සිතියමක් පවතින්නේ සිවුරැස් දත්ත ආකෘතියක්(Raster) වශයෙනි. පරිගණක මෘදුකාංග ආධාරයෙන් සිවුරැස් දත්ත ස්වයංක්‍රීය ඛණ්ඩාංක(vector) දත්ත බවට පරිවර්තනය කළ හැකිය. එහිදී රේඛාවල පළල වර්ණය වැනි අංග රිසිසේ පාලනය කිරීමට පරිශීලකයාට හැකියාව පවතී.

4. සුපරික්සීම සහ හස්තික (Manual) දත්ත ග්‍රහණය.

පරිගණක මෘදුකාංගයක් වෙනුවට අනුරූපයෙහි (image) පවත්නා දත්ත හස්තිකව අංකනය කිරීමේ ක්‍රියාවලිය මෙහිදී සිදුවේ. මෙම අනුරූපය පරිගණක තිරය මත ප්‍රදර්ශනය (Display) කොට මූසිකය (Mouse) ආධාර කොටගෙන රූපමිතීනි අංකනය කෙරේ. පරිගණක තිරය දෙස බලාගෙන අංකනය කිරීමේ ක්‍රියාවලිය නිසා එය තිර අංකනය (Screen Digitizing) වශයෙන් හඳුන්වනු ලැබේ. සාපේක්ෂව ලාභදායක පහසු ක්‍රමයක් වීම මේ සඳහා වෙනම මෘදුකාංග ලබා ගැනීමට අවශ්‍ය නොවීම හා බොහොමයක් භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත මෘදුකාංගයන්හි මේ සඳහා අවශ්‍ය පහසුකම සපයා තිබීම වැනි කරුණු නිසා ශ්‍රී ලංකාවේ දැනට ඉතාමත් ජනප්‍රියම ක්‍රමය වශයෙන් මෙම ක්‍රමය හැදින්වේ.

5. අංකන ඵලකයක් (Digitizing Table) ආධාරයෙන් සිදුකරනු ලබන හස්තික (Manual) දත්ත ග්‍රහණය.

අංකන ඵලකයක් මත අලවන ලද සිතියමෙහි පවත්නා තොරතුරු අංකනය කිරීම මේ ක්‍රමය යටතේ සිදු කෙරේ. සාපේක්ෂව වැඩි කාලයක් හා ශ්‍රමයක් මෙන්ම වැඩි පිරිවැයක් සහිත ක්‍රමයකි. අංකන ඵලකයක් ආශ්‍රයෙන් දත්ත ග්‍රහණය කිරීම සිදුකරන නිසා අංකන ඵලකය සඳහා දැරීමට සිදුවන මූලික පිරිවැය මෙම ක්‍රමයෙහි ඇති අවාසි සහගත තත්ත්වයකි. මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී සිතියම විශාල කිරීම හෝ කුඩා කිරීමට අපහසුය. මේ නිසා රූප මිතීන් ඝනත්වයෙන් වැඩිවන විට ඒවා පියවි ඇසින් බලා අංකනය කිරීම දුෂ්කර වේ. නිදසුන් ලෙස දළ බෑවුමක් සහිත අවස්ථාවක සමෝච්ච රේඛා එකිනෙකට ආසන්නව නිර්මාණය කෙරෙන බැවින් අංකනය කිරීම දුෂ්කර වේ.

6. GPS ආධාරයෙන් ලබාගන්නා වූ දත්ත භූගෝලීය තොරතුරු පද්ධති තුළට අන්තර්ග්‍රහණය කිරීම.

අභ්‍යවකාශයෙහි රඳවා ඇති චන්ද්‍රිකා විසි හතර් ආධාරයෙන් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම ඉතාමත් නිවැරදිව ලබා ගැනීමට හැකි වී තිබේ. GPS ආධාරයෙන් ලබාගන්නා වූ දත්ත ඛණ්ඩාංක වශයෙන් පවතින අතර සරලව එය Excel ගොනුවක හැඩය ගනී. මෙම ඛණ්ඩාංක දත්ත සෘජුවම අන්තර්ග්‍රහණය කිරීමට මෙන්ම එමදත්ත විශ්ලේෂණය කිරීමට වර්තමානයේ භාවිතයේ පවත්නා භූගෝලීය තොරතුරු  පද්ධති මෘදුකාංග සමත් වේ. 

7. චන්ද්‍රිකා මගින් ලබා ගන්නා වූ දත්ත (Satellite Data) පරිගණක ගත කිරීම.

චන්ද්‍රිකා මගින් ලබා ගන්නා වූ දත්ත සිවුරැස් දත්ත වශයෙන් පවතී. GPS මගින් ලබා ගන්නා වූ දත්ත මෙන්ම චන්ද්‍රිකා මගින් ලබා ගන්නා වූ දත්ත ද භූ ගෝලීය තොරතුරු පද්ධති තුළට අන්තර් ග්‍රහණය කිරීම වර්තමානයේ දී පහසු කාර්යයක් බවට පත්ව තිබේ. වර්තමානයේ දක්නට ලැබෙන බොහොමයක් භූගෝලීය තොරතුරු පද්ධති භාවිතයන් ආශ්‍රිතව පවත්නා වූ පොදු ලක්ෂණයක් වන්නේ චන්ද්‍රිකා දත්ත භාවිතයයි.

References

දෙපාර්තමේන්තුව, . . (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස  .

Sunday, March 17, 2024

භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දෘඩාංග(Hardware),මෘදුකාංග( Software), මානව සම්පත්(Human Resources) සහ ක්‍රමවේද(Method)

භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දෘඩාංග(Hardware) 

මෙම දෘඩාංග ප්‍රධාන අංශ හතරකට වර්ග කළ හැකිය. 

  1. පරිගණක (Computers) ,
  2. ආදාන උපාංග (Input Device) ,
  3. ප්‍රතිදාන උපාංග (Output Device),
  4. ගබඩා උපාංග (Storage Device).


1. පරිගණක (Computers) 

භූගෝලීය තොරතුරු පද්ධති සඳහා භාවිත කරන පරිගණක අතුරින් PC (Personal Computers) පරිගණක මූලික මට්ටමේ ඒවා වන අතර සුපිරි පණිගණක (Super Computers) සහ පර්යන්ත පරිගණක (X- Terminal) ඉහළ මට්ටමේ පරිගණක වේ. භූ ගෝලීය තොරතුරු පද්ධතිය සඳහා ඉතා ඉහළ මට්ටමේ පරිගණක අවශ්‍ය වන්නේ විශාල ප්‍රමාණයේ දත්ත ගොනු හැසිරවීම මෙහිදී සිදුකෙරෙන බැවිනි. භාවිතයට ගනු ලබන පරිගණක ආශ්‍රිතව වැදගත් වන මූලික අංග 
දෙකක් වන්නේ පරිගණකයෙහි දෘඪ ඩිස්කය ( Hard Disk) හා සසම්භාවී ප්‍රවේශ මතකයයි( RAM- Random Access Memory) . විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි දෘඪ ඩිස්කය හා දත්ත ඉතාමත් කාර්යක්ෂමව සකස් කිරීමට හැකි වඩාත් වේගවත් සසම්භාව්‍ය ප්‍රවේශ මතකයක් සහිත පරිගණක පැවතීම හොඳ භූගෝලීය තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී පූර්ව අවශ්‍යතාවක් වේ.

2. ආදාන උපාංග (Input Device) 

ආදාන උපාංග ලෙස යතුරු පුවරුව, මවුසය වැනි උපකරණද දත්ත ගබඩා කිරීමට යොදා ගන්නා චුම්භක තැටිද, දත්ත අංකනය කිරීම සඳහා යොදා ගන්නා අංකන ඵලකයද වැදගත් වේ. මේවා අතර අංකන ඵලකය(Digitizer table) සහ සුපරික්සන ( Scanners) ප්‍රධාන වේ. 
අංකන ඵලකය Aප්‍රමාණයේ සිට Aදක්වා විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. අංකන ඵලකය සහ ඒ මත අලවන ලද සිතියමක අඩං A4  ගු තොරතුරු පරිගණක ගත කිරීම සඳහා භාවිත කරන කර්සරය (Cursor) ලෙස මෙය ප්‍රධාන අංග දෙකකින් සමන්විත වේ. අංකන ඵලකය ප්ලාස්ටික් මතුපිටකින් හා අභ්‍යන්තරය ඉලෙක්ට්‍රොනික දැලකින් සමන්විත වේ. එම නිසා අංකන ඵලකය හා කර්සරය අතර සිදුවන අන්තර් ක්‍රියා ආධාරයෙන් සිතියමෙහි අඩංගු තොරතුරු ඛණ්ඩාංක බවට පරිවර්තනය කරමින් පරිගණකයෙහි දෘඪ ඩිස්කය මත ගබඩා කෙරේ. 

සුපිරික්සන විවිධ ප්‍රමාණයෙන් හා විවිධ වර්ගයෙන් සමන්විත වේ. ප්‍රමාණය අනුව A0  සිට A දක්වා පරාසයක වෙනස් වන අතර පැතිලි සුපරීක්සන මෙන්ම බෙර හැඩැති සුපරික්සනද භාවිත කෙරේ. සිතියමක පවත්නා තොරතුරු සුපරීක්සනය ආධාරයෙන් අනුරූපයක් බවට පත්කිරීමට හැකිවන අතර එය අවශ්‍යතාව අනුව JPEG, TIFF වැනි විවිධාකාර ආකෘතීන් යටතේ පරිගණකෙයහි ගබඩා කල හැකිය. අවශ්‍ය ආකාරයටඅනුරූපයෙහි විච්ඡේදනය පාලනය කිරීමේ හැකියාව පරිශීලකයා සතු වේ.



3. ප්‍රතිදාන උපාංග(Output Device)

තෙවන දෘඪාංග සංරචකය වන්නේ ප්‍රතිදාන උපාංගය නැතහොත් මුද්‍රණ යන්ත්‍රයයි. සිතියම් වල දෘඪ පිටපත් ලබා ගැනීම සඳහා මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරනු ලැබේ. Matrix, Inkjet/Bubbleject සහ Laser වශෙයන් මුද්‍රණ යන්ත්‍ර වර්ග රාශියක්ද Lasers, Electrostatic, Direct Thermal, Pen Plotters, Inject plotters වශයෙන් Plotters වර්ග කිහිපයක් ද පවතී.

4. ගබඩා උපාංග(Storage Device)

භූ ගෝලීය තොරතුරු පද්ධති හැසිරවීමේ දී ඉතාමත් වැදගත් වන තවත් දෘඩාංගයක් ලෙස ගබඩා උපාංග සඳහන් කළ හැකිය. දෘෂ්‍ය ඩිස්ක, චුම්බක ඩිස්ක, නම්‍ය ඩිස්ක හෝ චුම්භක පටි ලෙස මේවා දක්නට ලැබේ. විශේෂයෙන්ම විශාල දත්ත හැසිරවීමේ දී දත්ත ගබඩා කිරීමට මෙන්ම දත්ත රක්ෂිත ගොනු ලෙස ගබඩා කිරීමටද මෙවැනි ගබඩා උපාංග වැදගත්ය.

මෘදුකාංග( Software)

භූ ගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත මෘදුකාංග වර්තමානයෙහි ප්‍රධාන ධාරා දෙකක් යටතේ හඳුනා ගැනීමට පුළුවන. එනම්, වාණිජ මෘදුකාංග සහ විවෘත මෘදුකාංග වශයෙනි. Arc GIS, Map Info, Intergraph සහ Global Mapper වාණිජ ධාරාවට අයත් ප්‍රධාන මෘදුකාංග කිහිපයකි.
විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යයන ආයතන වාණිජ පරමාර්ථයකින් පරිබාහිරව නිෂ්පාදනය කරන ලද විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොමිලේ හෝ ඉතා අඩු මුදලක් වැයකොට ලබා ගැනීමට පුළුවන. GRASS, SAGA GIS, QUANTAM GIS සහ ILWIS ඒ අතරින් ප්‍රධාන වේ. ILWIS සහ IDRISI භූගෝලීය තොරතුරු පද්ධතිය සහ දුරස්ථ සංවේදය සඳහා උපයෝගී වන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයකි. එක් එක් මෘදුකාංග සතු ක්‍රියාකාරීත්වය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු විවිධ වන අතර ඇතැම් වාණිජ මෘදුකාංග වෙළඳපොළ දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඇත.


මානව සම්පත්(Human Resources) 

භූගෝලීය තොරතුරු පද්ධති තුළ අඩංගු මානව සම්පත් ලෙස එය භාවිත කරන්නන් නැතහොත් පරිශීලකයින් පෙන්වා දිය හැකිය.මානව සම්පත ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ දැක්වීමට පුළුවන. එනම්,
  • ක්‍රියාත්මක කරවන්නන්,
  • තාක්ෂණික වෘත්තකයාන්,
  • කළමනාකරන සේවක මණ්ඩලය
ක්‍රමවේද(Method)

භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු තවත් වැදගත් සංරචකයක් වශයෙන් ක්‍රමවේද දැක්විය හැකිය. ප්‍රායෝගික ලෝකයෙහි පවත්නා වූ ඕනෑම ගැටලුවක් නැතිනමි කිසියම් සංසිද්ධියක් විද්‍යාත්මකව විශ්ලේෂණයකට බඳුන් කිරීමේදී ඒ සඳහා යොදා ගනු ලබන විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එහිදී අවශ්‍ය වන දත්ත, ඒවා ලබාගන්නා මූලාශ්‍ර, එම දත්ත අදාළ අරමුණකට ඉටු කර ගැනීම සඳහා විශ්ලේෂණයට බඳුන් කළ යුතු ආකාරය විශ්ලේෂණය සඳහා යොදාගන්නා ක්‍රමවේද යනාදී වශයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත මේ යටතේ විග්‍රහ කෙරේ. ඒ අනුව සරලව ක්‍රමවේද යනු අරමුණු ඉටු කර ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිත කරමින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ලෙස නිර්වචනය කළ හැකි වේ.

Saturday, March 16, 2024

භූගෝලීය තොරතුරු පද්ධතීන්හි අඩංගු අවකාශීය දත්ත ආකෘති( Data Formats)

 

භූගෝලීය තොරතුරු පද්ධතීන්හි අඩංගු අවකාශීය දත්ත ආකෘති( Data Formats)

භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු අවකාශීය දත්ත ගබඩා කිරීමේ ආකෘති ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. 
  1. දෛශික දත්ත (Vector Data) ආකෘතිය.
  2. සිවුරැස් දත්ත(Raster Data) ආකෘතිය.
  • දෛශික දත්ත ආකෘතිය
භූ ලක්ෂණ සිතියමක අඩංගු සියලුම භූ ලක්ෂණ, ලක්ෂ්‍ය (Point), රේඛා (Line) හා බහුඅස්‍ර(Polygon)වලින් සමන්විත වේ. කිසියම් රූපමිතියක් වඩාත් නිරවද්‍ය ආකාරයෙන් අංකනය කළ හැකි මාධ්‍යයක් ලෙස දෛශික දත්ත ආකෘතිය නම් කිරීමට පුළුවන. ඛණ්ඩාංක මත පදනම්ව සිතියමෙහි අඩංගු භූ ලක්ෂණ අංකනය කරමින් පරිගණකය තුළ ගබඩා කිරීම මෙමගින් සිදු කෙරේ.





  • සිවිරැස් දත්ත ආකෘතිය.
අදාළ ප්‍රදේශය තීරු(Rows) හා පේළි(Column) ඇසුරින් කොටු (Cell) රටාවකට පරිවර්තනය කොට ඒ සෑම කොටුවක්ම නිරීක්ෂණ ඒකකයක් වශයෙන් සැලකීම සිවුරැස් දත්ත ආකෘතියේ මූලිකම ලක්ෂණයයි. යථා ලෝකයේ පවතින සංකීර්ණ වූ ක්‍ෂේත්‍රීය රටාව පරිගණක ගත කිරීමට හැකි සරලම ක්‍රමය ලෙස මෙය දැක්විය හැකිය. මෙවැනි කොටුවක් පික්සලයක් (Pixel) ලෙස නම් කෙරේ. සිවුරැස් දත්ත ආකෘතිය විවිධ සංඛ්‍යාත්මක වටිනාකම් සහිත පික්සල වලින් සමන්විත වේ. සෑම පික්සලයක් මගින්ම පිහිටීම මෙන්ම පික්සලයට අදාළ වටිනාකම ද (Cell Value) නිරූපණය කෙරේ.

සිවුරැස් සහ දෛශික දත්ත  දත්ත ආකෘතීන් සැසඳීම.

මෙම ආකෘතීන් දෙකටම ආවේණික වාසි මෙන්ම අවාසි ද පවතී. 

වාසි

අවාසි

 දෛශික දත්ත (Vector Data) ආකෘතිය.

  1. ඕනෑම රූපමිතියක් සිතියමේ පවත්නා ආකාරයටම අංකනය කිරීමේ හැකියාව.
  2. සංයුක්ත දත්ත ආකෘතියක් තිබීම. ස්ථලක රටාව (Topology)පැහැදිලිව විස්තර කිරීමේ හැකියාව.
  3. ඛණ්ඩාංක පරිවර්තනය පහසුවීම. ඕනෑම ප්‍රමාණයක ජාමිතික රූපමිතීන් නිවැරදිව ඉදිරිපත් කළ හැකිවීම.
  4. අවකාශීය සහ අවකාශීය නොවන දත්ත නැවත ලබා ගැනීම, යාවත්කාලීන කිරීම, සහ සාමාන්‍යකරණය කිරීමට පහසු වීම.




  1. සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම.
  2. විවිධ බහුකෝණ සම්බන්ධ කිරීම සහ සමපාත විශ්ලේෂණය අසීරුවීම.
  3. අවකාශීය දත්ත පරිගණක ගත කිරීම සඳහා අධික කාලයක් වැය වන අතර වියදම අධික වීම.
  4. අමතර දත්ත රහිතව අවකාශීය දත්ත විශ්ලේෂණය අපහසු වීම.
  5. සියලුම ක්ෂේත්‍රීය වස්තූන් සතුව එකිනෙකට වෙනස් හැඩයක් සහ ආකෘතින් පවතින බැවින් අවකාශීය අන්තර් ක්‍රියාකාරිත්වය අනුකරණය ආකෘතින් ගොඩනැංවීම අසීරුවීම.


  • සිවිරැස් දත්ත (Raster Data) ආකෘතිය.

  1. සරල ආකෘතියක් මගින් දත්ත නිරූපණය කිරීම.
  2. අවකාශීය නොවන දත්ත ග්‍රහණය කර ගැනීමේ පහසුව.
  3. අවකාශීය විශ්ලේෂණ ක්‍රම සහ පෙරහන් ක්‍රම භාවිත කිරීම පහසුවීම.
  4. පිහිටීම පාදක කොටගත් අවකාශය නොවන දත්ත විශ්ලේෂණය පහසුවීම.
  5. ගණිත විද්‍යාත්මක ආකෘතිකරණය පහසුවීම.
  6. සමහර අවස්ථාවලදී තාක්ෂණය සාපේක්ෂව ලාභදායක වීම.



  1. එකවර විශාල පරිමාණයකින් යුත් දත්ත ගබඩා කිරීමේ ගැටලුව.
  2.  අවසානයේ ලැබෙන සිතියම අපැහැදිලිතාවයකින් යුක්ත වීම.
  3. රේඛාවන් ආශ්‍රිත විශ්ලේෂණ ඉදිරිපත් කිරීම වඩාත් අසීරුවීම.
  4.  ක්ෂේත්‍රයෙහි පවතින කුඩා රූප මිතීන් දත්ත ග්‍රහණය කිරීමේදී ඉවත් වී යෑමේ දෝෂ පැවතීම.




Tuesday, February 13, 2024

භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත සංරචක (C) Blue World GIS

 

භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත සංරචක (Components Of GIS)

භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු ප්‍රධාන සංරචක පහක් හඳුනා ගැනීමට පුළුවන්.

1.     දත්ත (Data)

2.     දෘඩාංග ( Hardware)

3.     මෘදුකාංග ( Software)

4.     මානව සම්පත් (Users)

5.     ක්‍රමවේද ( Methods)

 


 භූගෝලීය තොරතුරු පද්ධතියක අඩංගු දත්ත.

දත්ත යනු සංකේත වේසංඛ්‍යාන විද්‍යාවේ දත්ත විවිධාකාර ලෙස වර්ග කරනු ලැබුවද, භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ අඩංගු දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන්. එනම්, ක්ෂේත්‍රීය දත්ත හා ක්ෂේත්‍රීය නොවන දත්ත වශයෙනි.

ක්ෂේත්‍රීය දත්ත යනු පිහිටීමක් ප්‍රකාශ  කරන්නා වූ දත්තය. ක්ෂේත්‍රීය  නොවන දත්ත යනු කිසියම් දෙයක  ‌නෛසර්ගික ලක්ෂණ ප්‍රකාශ කරන්නා වූ දත්තය. නිදසුන් ලෙස කිසියම් ගමක වගා ළිං පහක් පවතින්නේ යැයි සිතමු. එම ළිංවල පිහිටීම පහත සිතියම මගින් දැක්වෙන අතරඑම ළිං වල අදාල  ක්ෂේත්‍රීය දත්ත මෙන්ම ක්ෂේත්‍රීය නොවන දත්ත වගුව තුළින් නිරූපණය කෙරේ.



                මූලාශ්රය: දෙපාර්තමේන්තුව, . . (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස  .

 

                                     භූගෝලීය දත්ත පද්ධතියක සරල අනුරුවක්

හදුනාගැනීමෙි අංකය 

(ID)



(1)

X

ඛණ්ඩාංකය

 

 

 

(2)

Y

ඛණ්ඩාංකය

 

 

 

(3)

ගැඹුර

(m)

 

 

 

(4)

pHඅගය

 

 

 

 

(5)

ජලය සපයන අක්කර ගණන

 


(6)

1

79001

6041

15

6.5

5

2

80021

7013

17

6.3

4

3

81011

7001

14

6.7

7

4

79051

6022

15

6.5

3

5

80037

6031

17

6.1

2

මූලාශ්‍රය: දෙපාර්තමේන්තුව, . . (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස  .

 

ඉහත වගුවට අනුව පළමු වන තීරය මගින් නිරූපණය කරනුයේ ළිං හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ලද හඳුනාගැනීමේ අංකයයිදෙවන සහ තුන්වන තීරවල අඩංගු දත්ත හා අනෙකුත් තීරවල අඩංගු දත්ත අතර පැහැදිලි වෙනස්කමක් හඳුනාගත හැකිය.

ළිඳේ ගැඹුර, PH අගය, ජලය සපයන අක්කර ගණන, වැනි විචල්‍ය මගින් එක් එක් ළිඳක් පිළිබඳව නෛසර්ගික ගුණාංග ප්‍රකාශ කෙරේඑම දත්ත අවකාශීීය නොවන දත්ත වශයෙන් නිර්වචනය කළ හැකිය. දෙවන හා තෙවන තීර දෙක මගින් ළිඳක පිහිටීම හා සම්බන්ධ අවකාශී දත්ත දැක්වේ. අනුව පළමු වන ළිඳෙහි පිහිටීම අදාල දේශාංශ වටිනාකම 79001’ වන අතර අක්ෂාංශ වටිනාකම 6041’ කි. මෙලෙස සෑම ළිඳකම පිහිටීම එයට අදාළ දේශාංශ වටිනාකම හා අක්ෂාංශ වටිනාකම් මගින් දැක්විය හැකිය.

ඛණ්ඩාංක වටිනාකම් ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම්

  1. ගෝලීය ඛණ්ඩාංක. (Global Coordinate) 
  2. ජාතික ඛණ්ඩාංක. (National Coordinate)

ගෝලීය ණ්ඩාංක මගින් ග්‍රිනිච් රේඛාව හා නිරක්ෂය පදනම් රේඛා වශයෙන් සලකා පෘථිවියෙහි ඕනෑම ස්ථානයක පිහිටීම ප්‍රකාශ කෙරේ. ලෝක භූමිතික පද්ධතිය (WGS84- World Geodetic System) ගෝලීය ඛණ්ඩාංක සඳහා හොඳම නිදසුනකි. ඇතැම් රටවල් තම රට තුළ සිතියම්කරණය සඳහා එම රටට සීමාවූ ඛණ්ඩාංක පද්ධති හඳුන්වා දී තිබේශ්‍රි ලංකාවෙහි ජාතික කොටු සැලැස්ම ( National Grid)මේ සඳහා නිදසුනක් වේ.

භූගෝලීය තොරතුරු පද්ධතියක විශේෂත්වය වන්නේ,අවකාශීය මෙන්ම අවකාශීය නොවන යන දෙවර්ගයේම දත්ත එකම පද්ධතියක් තුළ ගබඩා කිරීමේ හැකියාවයි. අවකාශීය දත්ත පමණක් තනිව සලකන විට එහි විශේලේෂාත්මක හැකියාව සීමාවේ. අනෙක් අතට අවකාශීය නොවන දත්ත පමණක් ගත් විට ව්‍යාප්තීන් (Distribution) සම්බන්ධ තොරතුරු සපයා ගැනීමේ හැකියාව සීමාකාරී වේ.

භූගෝලීය තොරතුරු පද්ධති මෙතරම්ම ජනප්‍රිය වීමට ඉවහල් වූයේ මෙම දෙයාකාරයන්හි දත්ත ඒකාබද්ධතාවයයි. අනුව  සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම (Methods Of Statistical Analysis) මෙන්ම අවකාශීය විශ්ලේෂණ (Spatial Analysis) යනාදියට අමතරව මෙම ක්‍රම දෙකෙහිම ඒකාබද්ධතාව මත සිදු කරන භූ සංඛ්‍යාන විශ්ලේෂණ (Geo-statistics) සිදු කිරීමට භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ පවතින විභවතාව, මෙහි ජනප්‍රියතාව හා වැදගත්කම තව දුරටත් වැඩි කිරීම සදහා ඉවහල් වී ඇත.

References

දෙපාර්තමේන්තුව, . . (2014). ප්රායෝගික භූගෝල විද්යාව 1 කොටස  .

 

 

Arc Map, Geoprocessing Tool, Intersect Tool.

Intersect Tool.